චන්දය
දීම සඳහා වූ ජනතාවගේ ප්‍රතිපත්ති ප්‍රකාශය
1. ශ්‍රී ලංකේය අනන්‍යතාවය රැකීම (Sri Lankan identity)
සිංහල
මහා ජාතිය වීම කාට නිරිස්සුවත්, එය යථාර්ථයම වන්නේය. නමුත්, බෞද්ධ රටක් වීම නිසාම,
ධර්මයේ සඳහන් මූලධර්ම අනුව යමින් සුළු ජාතීන්ටද අනෙත් රටවල මෙන් නොව පළමු පුරවැසි
අයිතිවාසිකම් ලබා දීම අනිවාර්යකල යුතුය. ප්‍රදේශ අනුව විවිධ වූ ජාතීන් සහ ආගමිකයන්
පදිංචියද, විවිධ ජාතීන් සහ ආගම් මත ප්‍රදේශ තෝරාගැනීම රටේ අනාගතය කෙරෙහි අහිතකර
ලෙස බලපාන බව ඉතිහාසය පෙන්වා දී ඇත. එනිසා, ජාතික සහ ආගමික සහජීවනය මත පදනම් වූ
සමාජයක් ස්ථාපිත කල යුතුය. සියලු දෙනාටම සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය
ලබා දීමද, සැමට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් අධ්‍යාපනය තුලින්
සාරධර්ම ඉගැන්වීමද අනිවාර්ය කල යුතුය. ආගම් ඇදහීමේ අයිතිය සියලුදෙනාට එකසේ ලබාදිය
යුතු අතර අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් හැකි සියලු ක්‍රම යොදා පිටුදැකිය
යුතුය. ඒ සඳහා ඇති විදෙස් අතපෙවීම් නැවතිය යුතුය.
2. ආහාර සුරක්ෂිතතාව (Food security)
රටේ
ජීවනාලිය කෘෂිකර්මාන්තය වේ. එය නගාසිටුවීම ජනතාවගේ පෝෂණය සහ සෞඛ්‍යය තත්වය ස්ථිර
කරනු ඇත. රටේ වගා කලහැකි බිම් සියල්ල උසස් තත්ත්ව පාලනයක් යටතේ කාබනික ක්‍රමෝපාය
යොදවා වගා කිරීම අනිවාර්යකල යුතු වේ. වගාවට සුදුසු බීජ සහ වැඩි අස්වැන්නක් දෙන භෝග
ප්‍රභේද ප්‍රචලිතකල යුතුය. සෞඛ්‍ය තත්වය උසස් කෙරෙන භෝග වගා සඳහා මුල් තැනක් දිය
යුතුය.
3. ජල සුරක්ෂිතතාව (Water security)
ලංකාවේ හදවත, ජල පෝෂකය, මධ්‍යම කඳුකරයයි. එය පෙර
ආක්‍රමණිකයන් විසින්ද, පසුව සිටි ආණ්ඩු විසින්ද අමන ලෙස විනාශ කරන ලදී. මෙම තත්වය
රටේ පැවැත්ම කෙරෙහි ඉතා අහිතකර බලපෑම් ඇති කරයි. මේ සඳහා මධ්‍යම කඳුකරය ඇතුළු රටේ
ජල පෝෂක ප්‍රදේශ නැවත වන වගා කිරීම අනිවාර්යෙන් කල යුතුව ඇත. එසේම, එම ප්‍රදේශ වල
ඉදිකිරීම් සහ ජනගහන පාලනය සිදුකල යුතුය. ඇතැම් ජනාවාස වෙනත් සුදුසු ස්ථාන වෙත
රැගෙන යාම කල යුතු අතර අහිතකර ස්ථානවල ඇති තේ ඇතුළු වගාවන් නැවැත්විය යුතු වේ. පරිසරය සහ ජෛව විවිධත්වය කෙරෙහි විශේෂ අවධානයක්
යොමුකර පොලිතීන් ඇතුළු දිරාපත් නොවන ද්‍රව්‍ය කළමනාකරණය කිරීමට වැඩපිළිවෙලක් යෙදිය
යුතුය.
4. නිදහස් සෞඛ්‍යය (Free health service)
ඵලදායී ප්‍රාථමික සහ ද්විත්යික සෞඛ්‍ය ක්ෂේත්‍ර ජනතාව
සුරක්ෂිත කරනු ඇත. සෞඛ්‍ය අධ්‍යාපනය
සහ ආරෝග්‍යා ශාලාවල පවතින ගැටළු නිරාකරණයකොට උසස් තත්වයෙන් යුතු සහ ඵලදායී සේවාවක්
සැපයිය යුතුය. එසේම, උසස් තත්වයෙන් යුතු ඖෂධ සහනදායී මිලට ලබාදීමේ වැඩපිළිවෙලක්
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ප්‍රතිපත්තීන් මත පිහටා සකස් කල යුතුය. දේශීය වෛද්‍ය
ක්ෂේත්‍රයද නොනසා පවත්වාගත යුතු අතර ඖෂධ පැලැටි රෝපණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
යෙදිය යුතුය.
5. නිදහස් අධ්‍යාපනය (Free education)
අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන යොදවා රටට වැඩ ඇති
යහපත් පුරවැසියන් ගොඩනැගීම කල යුතු වේ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා එයට
අනුකූලව ශ්‍රම බලකාය සැකසිය යුතුය. අධ්‍යාපනික මට්ටම පමණක් නොව ආධ්‍යාත්මික ගුණ
වගාව කෙරෙහිද මුල් තැන ලබා දිය යුතුව ඇත. එසේම, එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය කුසලතා,
විශේෂයෙන් පාසල් මට්ටමේදී වර්ධනයකල යුතුය. අධ්‍යාපනයේ තත්ත්ව පාලනය තුලින් සැමට
ගුණාත්මක නිදහස් අධ්‍යාපනයක් ලබා දීම අරමුණ විය යුතුය. අධ්‍යාපන ප්‍රතිපාදන
කිසිසේත් ජාති සහ ආගම් මත පදනම්ව නොදිය යුතුය.
6. යහපත් කර්මාන්ත (Conducive industries)
සියලුම වැසියන් යහපත් කර්මාන්ත සඳහා යොමුකල
යුතුය. අධ්‍යාපන ක්ෂේත්‍රය මේ සඳහා සැකසිය යුතු වේ. මස්, මත්පැන් හා වසවිස, ආයුධ,
වහල් සහ සූදු යන කර්මාන්ත රටෙහි පරිහානිය උදා කරයි. එය පිටු දැකීම සඳහා
වැඩපිළිවෙලක් සැකසිය යුතු වේ. ශ්‍රමිකයන් රට තුලම රඳවා කර්මාන්ත කෙරෙහි යොමුකල
හැකි ආකාරයට රැකියා අවස්ථා ජනනයකල යුතු අතර දේශීය අමුද්‍රව්‍ය යොදවා කෙරෙන
කර්මාන්ත කෙරෙහි නැඹුරුතාවයක් දැක්විය යුතු වේ. කර්මාන්ත සඳහා පිටරටට යන්නවුන්
පුහුණු සහ බුද්ධි ශ්‍රමිකයන් පමණක් වීම අරමුණ විය යුතු අතර ලංකාවෙහි ඉගෙනුම ලබා ශ්‍රමය
ලබාදීමට පිටරට යන සියලු දෙනාටම රටෙහි ආර්ථිකයට දායක විය හැකි ලෙස අවස්ථා සහ නීති
සැකසිය යුතු වේ.
7. නිවාස සහ යටිතල පහසුකම් (Shelter and infrastructure)
තනි නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම පරිසරයට අහිතකර
අතර රටේ ඇති ඉඩම් අකාර්යක්ෂම ලෙස භාවිතයට මං පාදයි. එනිසා, නිවාස යෝජනාක්‍රම සඳහා
ප්‍රතිපත්ති සැකසිය යුතුය. ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදවා
නිවාස යෝජනාක්‍රම සහ තට්ටු නිවාස මත පදනම් වූ නිවාස ඉදිකිරීම කල යුතුය. තනි
ගොඩනැගිලි සඳහා වූ නව බදු ක්‍රමයක් ස්ථාපිත කල යුතුය. ගොඩනැගිලි සහ නිවාස යෝජනාක්‍රම
යටිතල පහසුකම් ලබාදීම පහසු කරනු ඇත. සෑම දෙනාටම ජලය, විදුලිය, ප්‍රවාහනය,
සන්නිවේදනය මෙන්ම විවේකය සහ විනෝදය සඳහා පහසුකම් ලබාදිය යුතුය. විශේෂයෙන් ප්‍රවාහනය
ලොව පිළිගත් ඇවිදීම, බයිසිකල් භාවිතය, දුම්රිය සහ මගී ප්‍රවාහන බස්රථ මත පදනම් කල
යුතුය. මේ සඳහා තරාතිරමක් හෝ තත්වයක් නොසැලකිය යුතු අතර සෑම දෙනාටම සරිලන පහසුකම්
සපයා දිය යුතුය.
8. යහ පාලනය (Good governance)
මුළු රටටම අනුකූලවන එක නීතියක් සැකසිය යුතුය.
ජනතාව වරදින් මුදවාගැනීම සඳහා යෙදිය හැකි සියලු ක්‍රමෝපාය යෙදිය යුතු අතර වැරදි
කරනවුන්ට නිසි දඬුවම් ලබා දීම කල යුතුය. වංචාව සහ දූෂණය පිටුදැකිය යුතුය. දසරාජ
ධර්ම මත පදනම් වූ පාලනයක් ඇතිකල යුතුය. මිනිසුනට කතාකිරීමේ, සිතීමේ සහ නිදහසේ
කාර්ය කිරීමේ හැකියාව ලබා දිය යුතුමය. ඉඩම් අයිතිය ජන කොට්ටාශ මත පදනම් නොවිය යුතු
අතර, පොලීසියට, ත්‍රිවිද හමුදාව ඇතුළු ආරක්ෂක හමුදාවන්ට බැඳීම සඳහා සැමට එකසේ අවස්ථාව
සැපයිය යුතුය.
9. බදු ප්‍රතිපත්තිය (Tax policy)
සියලු රටවැසියා එක බදු ක්‍රමයකට යටත් විය යුතු
අතර දේශීය නිෂ්පාදන නගාසිටුවීම සඳහා උචිත බදු ක්‍රමයක් පැවතිය යුතුය. ඉපයීම් සඳහා
අවමයක් සහ උපරිමයක් තිබිය යුතු අතර විෂමතා නොමැති වැටුප් ප්‍රතිපත්තියක් සැකසිය
යුතුය. රැකියා විෂමතා නොමැති, සැමට පිළිගත හැකි උගත්කමට සහ හැකියාවට මුල් තැන ඇති ක්‍රමයක්
ස්ථාපනය කල යුතු වේ. රට තුලට ගෙන්වීමට හැකි සහ නොහැකි ද්‍රව්‍ය සහ බඩුබාහිරාදිය
සමීක්ෂණය කර නීතිගත කල යුතුය. අය කරනු ලබන බදු මුදල් රටෙහි පැවැත්ම සහ දියුණුව
සඳහා යොදවන ආකාරය සම්පූර්ණ වශයෙන් ජනතාවට දැනගැනීමට සැලැස්විය යුතුය.
10. විදේශ ප්‍රතිපත්තිය (Foreign policy)
සියලු රටවල් සමග සුහදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය
කල යුතු අතර එය ලොවට ආදර්ශයක්වන ලෙස පවත්වාගත යුතුය. නිශ්චිත රටවලට පමණක් පක්ෂග්‍රාහී
ලෙස කටයුතු නොකල යුතු වේ. රටේ අනන්‍යතාවය ලොවට ප්‍රදර්ශණය කෙරෙන ආකාරයට හැසිරිය
යුතුය.